රට හොල්මන්
අද හන්දියේ කඩේ සෙනග වැඩියි. ගමේ පාරේ දවල් වරුවේ ගිය සංචාරකයන් පිරි බස් රථය ගැන තමා වැඩියම මිනිස්සු කතාවුනේ.
“මොන රටේ අයද ඔය ගියා කියන්නේ?”
මුදලාලිගෙ පවුල දන්නවා කතාව දික්ගස්සන්න - ඒක වෙළඳාමට හොඳයි. ප්රශ්නෙට උත්තර දුන්නේ දනපාල. ගමේ ‘කතා කාරයා’ හැටියට සියල්ලෝ පිළිගත්ත ටොම්බංඩගෙ ඒ තනතුරට තර්ජනයක් ආවේ දනේගෙන් පමණයි. බංඩයියා වගේ කොළඹත් පිටරටත් වැඩ නොකෙරුවට දනේ කාලයක් පොලොන්නරුවේ වැඩ කරලා තියෙනවා. හුඟක් ගම්මුන්ට පොලොන්නරුවත් පිට රටක් වගේ.
“චීන්නු කියලා ඩැයිවර් උන්නැහේ කිව්වේ. මිනිහා අර මහ වංගුව කිට්ටුවෙන් බස් එක නවත්තලා උන්ට අර එහා කඳුවැටි පෙන්නනවා; එතකොට මම එතන! නාකියොයි කොල්ලොයි කෙල්ලොයි ඔක්කොම කොට කලිසන් ඇඳලා, කළු කන්නාඩි දාලා - සුද්දෝ වගේ!”
මේ දර්ශනය හිතේ මවාගන්න කට්ටියට ටිකක් වෙලා ගියා. මුදලාලිට ඒක හරියට විශ්වාස කරන්න අමාරුයි.
“චීනේ කොහෙද සුද්දෝ? උන් ඉංගිරිසියෙන්ද කතා කරේ?”
“චීන බාසාවෙන්… චොං…චිං…හොං… කිය කිය! මට හිනා”
ආරොන් ගෙන් තවත් ප්රශ්නයක්.
“මොනවද ඔය කන්දේ බලන්ට තියෙන්නේ? චීන රටේ කඳු නැද්ද?”
දනේ වහාම උත්තරක් දීපු නැති නිසා කට්ටිය හිස හැරවූයේ බංකුවේ කොනේ වාඩිවී සද්ද නැතුව බීඩියක් උරන බංඩයියා දෙසටයි. තොලේ තිබුන බීඩිය හෙමින් අතට අරගෙන ඒ දිහා සෝදිසියෙන් බලාගෙන හිටියේ එතන කියවුන කිසිම දෙයක් නොඇසුනා වගේ. බංඩයියා හොඳින් දන්නවා සභාව හසුරුවන්න.
“ඈ බංඩයියා… චීනේ එහෙමත් කඳු තියෙනවද?”
“හ්ම්…? චීනේ? කඳු? අප්පේ ඕන තරම් කඳු - අපෙ පිදුරුතලාගලයි සිරිපාදෙයි පරද්දන්ට! ඇයි අප්පේ ලෝකේ උසම කන්දත් එහෙනේ…”
සභාව විස්මයට පත්කරන්න ඒ ඇති බව බංඩයියා දන්නවා; ආයෙත් බීඩියට හිත යොමුකළේ ඒ නිසයි. ඊලඟ ප්රශ්නේ ආවේ මුදලාලිගෙ පවුලගෙන්.
“බංඩයියට චීන්නු මුනගැහිලා තියෙනවද? මං කියන්නේ මූණෙන් මූණට?”
“සිය ගනං! ඩිංගිරිඅම්මා දන්නවානේ මම සිංගප්පූරුව හරහා නිතරම වගේ ගියා කියලා. එහෙ වැඩි හරියක් චීන්නුනෙ ඉන්නේ? මුනගැහෙන්නෙ නැතුව කොහොමද?”
චීන දැනුමෙන් තමා පැරදෙන බව දනපාලට තේරෙනවා. නමුත් එයත් ලේසියෙන් අතාරින කෙනෙක් නෙවෙයි.
“බංඩයියා ඒ අයගෙ බාසාව ඉගෙනගෙන උන්ට කතා කරාද නැත්තං නිකම්ම ඈතින් දැක්කද?”
බංඩා මේවට සසල වෙන්නෙ නෑ.
“සිංගප්පූරුව එංගලන්තේ යටතේ හිටියේ, ලංකාව වගේම. හොඳට ඉංග්රීසි කතා කරනවා”.
බංඩා දන්නවා නොකියා කියන්න එයාටත් ඉංග්රීසි පුළුවන් කියලා. නමුත් එතනින් කතාව නැවැත්තුවේ නෑ.
“ගාමිනී මහත්තයගෙ සාජා වැඩපොලේ චීන්නු කීප දෙනෙක් වැඩකරා. චෑං මහත්තයා ගාමිනි මහත්තයගෙ මට්ටමේ; අපෙ මහත්තයගෙ හොඳ යාළුවා. මට චීන කෑම පිලියෙල කරන්ට කියලා දුන්නේ එහෙ ලී කියලා චීන ගෑනියෙක්… ඩිංගිරිඅම්මා කහට එකක් බොමුද?”
කහට කෝප්පෙත් එක්ක ප්රශ්නෙකුත් ආවා.
“ඇත්තද බංඩයියා චීන්නු සර්පයෝ එහෙමත් කනවා කියන්නේ? මට නං ඒක අහන්ටත් හිරිකිතයි!”
“ඔවු… සමහරු සර්පයෝ කනවා… හරියට අපි ඉත්තෑයෝ, මීමින්නෝ එහෙම කනවා වගේ… හින්දු මිනිස්සු අපි හරක් මස් කෑම ගැනයි මුස්ලිම් අය අපි ඌරු මස් කෑම ගැනයි හිතන්නෙත් අපි චීන මිනිස්සු සර්පයෝ කෑම ගැන හිතනවා වගේ… මට නම් කිසි ගානක් නෑ කවුරු මොනවා කෑවත්!”
තමා ලෝකේ සියල්ලන්ට එකාකාරී ලෙස සලකන බව පෙන්වා දීලා බංඩා ආයෙත් බීඩියට මුළු සිත යොදවන බවක් හැඟෙව්වා. දනපාලට මේක මදිකමක්. චීන්නු ගැන වැදගත්ම ප්රවුර්තිය ගෙනා තමාටත් වැඩිය චීන්නු ගැන දන්නා බව බංඩයියා දක්වන්නේ තමාගේ දායකත්වය බාල කරන්න කියලා දනේ හිතුවේ. ඊලඟ ප්රශ්නේ ඇහුවේ බංඩයියා කැමති මාතෘකාවකින්; හොල්මන්. බංඩයියගෙ හොල්මන් කතා කවුරුත් විශ්වාස නොකරන බව දනේ දන්නවා.
“හැබෑට බංඩයියා චීන්නු හොල්මන් විස්වාස කරනවද? උන්ට උන්ගෙම රීරි යක්කු, මහසෝන්නු එහෙම ඉන්නවද?”
බංඩා පළමුවරට දනපාල දිහා කෙලින්ම බැලුවා.
“හොඳ ප්රශ්නේ දනපාල!… උඹට තේරෙනවා බං හැම ජාතියක්ම හොල්මන් විශ්වාස කරනවා කියලා - ඒක සේරම දන්න දෙයක් නෙවෙයි…චීන මිනිස්සු විශ්වාස කරන්නේ ඒ අයගෙ මුතුන්මිත්තෝ තමා හොලමන් හැටියට එන්නේ කියලා. ඒ අයට අවුරුද්දට සැරයක් පූජා එහෙමත් කරනවා”
දනපාල පහත දැමීම තමාගෙ අදහස නොවන බව පෙන්නන්න බංඩා දනපාල දිහා බලලා පොඩ්ඩක් හිනාවුනා. ආයෙත් කතාව පටන්ගත්තේ තේ උගුරක් බීලා.
“මම එකම සැරයයි දැකලා තියෙන්නේ චීන මිනිහෙක් ලංකාවේ විශ්වාස කරන ජාතියේ හොල්මනකට බය වෙනවා…”
………………………………….
ගාමිනී මහත්තයා මට දවසක් කිව්වා ඩුබායි එයාපෝට් ගිහින් චෑං මහත්තයා එක්ක එන්ට කියලා (බංඩා කතාව පටන්ගත්තේ කනුවට හේත්තුවෙලා). ඒ මහත්තයා ගෙදර ගිහින් එනවා; එකොලහ හමාරට විතර ඩුබායිවල බහින්ට. මම ගියේ මහත්තයගෙ කන්තෝරුවේ වාහනේක, ඒකේ පකිස්තාන ඩ්රයිවරුත් එක්ක. කොහොමටත් අපි චෑං මහත්තයත් දාගෙන ශාජා යන්ට පිටත්වෙනකොට එකට කිට්ටුයි.
ඒ වෙලාවේ පාරේ කවුරුත් නෑ - ඩ්රයිවර් සද්ද නැතුව එලවනවා, මම මහත්තයත් එක්ක කතා කර කර පස්සා සීට් එකේ. දන්නෙ නැද්ද ඉතින්… නිවාඩුව කොහොමද? පවුලේ අය සනීපෙන් ඉන්නවද? පැය දොලහක් විතර අහස් යාන්තරාවේ ඉන්න එක මහන්සිද? … ඒ වගේ සාමාන්ය ගමේ ගිහින් එන කෙනෙකුගෙන් අහන පරශ්න… ඔහොම කතා කර කර එනකොට චෑං මහත්තයා එක සැරේම මගෙන් අමුතු ප්රශ්නයක් ඇහුවා.
“ටොම්… කවදාවත් හොල්මන් දැකලා තියෙනවද?... තරහ වෙන්න එපා අහනවට… මම හොල්මන් ගැන පොතක් කියව කියවා ආවේ… ඒකචීන පොතක්. එතකොට මට හිතුනා ලංකාවෙත් එහෙම තියෙනවද කියලා…”
මම එතකොට කිව්වා මම දැකලා තියෙන හොල්මන් ගැන … ටිකක් හැඩ වැඩ දාලා! දන්නවානේ ලංකාව ගැන කතා කරනකොට අපි අපෙ රට ටිකක් නග්ගලා තියන්ට එපැයි. දැකලා නැතත් අහලා තියෙන හොල්මන් ගැනත් කිව්වා - රීරි යකා, මහසෝනා, ඕවැද්දා, මෝහිනී වගේ. මිනිහට හරි පුදුමයි - එයා කවදාවත් එහෙම දෙයක් දැකලා නෑ!
“මෙහෙත් හොල්මන් තියෙනවද? මං කියන්නේ ඩුබායි-ශාජා පැත්තේ?”
“ඇයි මිස්ට චෑං එහෙම ඇහුවේ?”
“පාන්දර දෙකටත් කිට්ටුයි, පාරේ මිනිස්සුත් නෑ. මෙහෙ හොල්මන් බලන්න ඊට වඩා හොඳ වෙලාවක් කවද්ද එන්නේ?”
මම හොරෙන් අපෙ ඩ්රයිවර් දිහා බැළුවා. මිනිහගෙ මූණේ පොඩි හිනාවක්. එයා දන්නවා මම විහිළුවට කැමතියි කියලා.
“… මම මෙහෙදී එක හොල්මනක්වත් දැකලා නෑ අවුරුදු දහයකට… හැබැයි මේ කිට්ටුව තැනක් තියෙනවා හොල්මන් ගෙදරක්… අල් කසිමි මන්දිරය කියලා… සමහරු කියනවා එතන හොල්මන් තියෙනවා කියලා… හැබැයි මම නම් විශ්වාස කරන්නෙ නෑ ඔය කතා”
“ඒක ගෙදරක්ද?”
“හ්ම්… ඔවු… ඩිරාම් කෝටි පනහක් වියදම් කරලා හදපු තට්ටු හතරක මාලිගාවකට ගෙදරක් කියන්ට පුළුවන් නම්!”
“කවුද ඒකේ ඉන්නේ?”
“කවුරුත් නෑ. 1985 හැදුවට අයිතිකාරයෝ එක රැයයි ඒකේ ඉඳලා තියෙන්නේ. රෑ ගෙදර භූමි කම්පාවකට අහුවෙලා වගේ වෙවුලන්ට පටන්ගත්තා කියලා තමා කියන්නේ. අයිතිකාරයෝ පහුවදාම ගෙදර අතෑරලා ගිහින්! එදා ඉඳන් එතන කවුරුවත් නෑ, එක මුරකාරයෙක් ඇරුනුකොට”
චෑං මහත්තයා ටිකක් කල්පනා කරා.
“අපිට ඒක නිකන් බලලා යන්ට පුළුවන්ද? හොඳට හඳ එලියත් තියෙනවා…”
මම ඩ්රයිවර් දිහා බැළුවා. මිනිහා උරහිස් හෙල්ලුවා ‘මට ප්රශ්නයක් නෑ’ කියන්ට වගේ. චෑං මහත්තයට හරි සන්තෝසයි. එයා මටත් සිගරට් එකක් දීලා එයත් එකක් පත්තුකරා.
[බංඩා තේ උගුරක් බීලා බීඩියක් පත්තු කරගත්තා]
හැබෑට අල් කසිමි මන්දිරේ හරිම ලස්සනයි හඳ එලියේ. අවට ගෙවල් නැතිනිසා මන්දිරය කන්දක් උඩ හදපු සුදු වෙසක් කූඩුවක් වගේ ඈතට පෙනුනේ. මං කියන්නේ අටපට්ටම් කූඩුවක් නෙවෙයි… උස පාන් ගෙඩියක හැඩේ; වටේටම ජනෙල් එහෙම කැටයම් කපලා වගේ. හැබැයි කිසි සද්දයක් නෑ කාරෙකේ ඇන්ජිම නැවැත්තුවට පස්සේ. එකම එලිය හඳ එලිය විතරයි. චෑං මහත්තයයි මමයි ගේට්ටුව ලඟට ගියා. ඒක වහලා. මම මහත්තයා දිහා බැළුවා.
“මෙච්චර ආපු එකේ ඇතුලට යන්න විදිහක් තියෙනවද?”
අපි දෙන්නා හෙමින් හෙමින් තාප්පෙ අයිනේ ඇවිදගෙන ගියේ එක්කෝ තව ගේට්ටුවක් නැත්නම් මුරකාරයා හම්බවෙයි කියලා හිතාගෙන. කිසි මුරකාරයෙක් නෑ - ඌත් නිදි ඇති පාන්දර දෙක වෙනකොට! කොහොමහරි අපි පොඩි ගේටුවක් දැක්කේ මන්දිරේ පිටිපස්ස පැත්තේ. ඒකේ ඉබ්බා දාලා තිබුනට එතනම පොඩි හිඩැස්සක් තිබුනා අපිට යන්තම් බඩගාගෙන ඇතුලට යන්ට.
[ඈත බලාගෙන බීඩි උගුරක්]
මට අනේ පව් කියලා හිතුනා චෑං මහත්තයා ගැන. නැති හොල්මනක් බලන්ට තාප්ප අස්සෙන් රිංගන්නේ මං නිසා නේද කියලා. මොනවා කරන්ටද ආපු එකේ. මං හිතුවේ ඉස්සරහ දොර ලඟට එක්ක ගිහින් ‘දැන් ඉතින් ආපහු යමු’ කියලා ආපහු එක්ක යන්ට. කොහෙද - මහත්තයට හරි සන්තෝසයි මෙච්චර ආපු එකටත්. මං හිතන්නේ එයා කවදාවත් මෙහෙම ගමනක් ගිහින් නෑ, මීට ඉස්සර.
කොහොමටත් අපි ඉස්සරහ දොර ලඟට එනකොට දැක්කේ දොර බාස් ගාලා ඇරලා දාලා. උන් හිතන්ට ඇති ගේට්ටු වහලා මුරකාරයෙකුත් ඉන්න එකේ දොර වැහුවත් ඇරියත් වෙනසක් නෑ කියලා. චෑං මහත්තයා කෙලින්ම ඇතුලට ගියා. මමත් ඒ එක්කම ගියේ මගෙ ටැලිෆෝන් ටෝච් එක පත්තු කරගෙන.
අනේ අප්පේ හරිම ලස්සනයි ඒ ඉස්සරහ සාලේ… මාලිගාවක්ම තමා. අටපට්ටමට හැදුන ඒ කාමරේ අඩි පනහක් හැටක් දිග පළල! බිත්තියි සීලිමයි එක එකපාට - ලස්සන පින්තූර පුරවලා හරියට චිත්ර ප්රදර්ශනයක් වගේ. ඒ පින්තූර වලටම කෝටි ගානක් යන්ට ඇති!
අපි විනාඩි දහයක් විතර සද්ද නැතුව කාමරේ වටේටම ඇවිද්දා, ටෝච් එලියෙන් පින්තූර බල බල. ඊට පස්සේ අපි උඩ තට්ටුව වලටත් නැග්ගා… එක දෙයක් අපි දෙන්නටම තේරුන; මේ ගෙදර කිසි කෙනෙක් හරියට බලාකියා ගන්නෙ නෑ. දූවිලි, කැඩිච්ච ලීබඩු එහෙම හැම තැනම. හරිම අපරාදයක් කියලා මට හිතුනා. අපි උඩ තට්ටුවේ කාමර බලන්ට යනකොට තමා ඉස්සරවෙලාම සද්දයක් ඇහුනේ යට තට්ටුවෙන්.
අපි දෙන්නම ටක් ගාලා නැවතුනා. වචනයක් නොකියා, අඩියක් නොතියා අපි හොඳින් අහගෙන හිටියා ආයෙත් සද්දේ එනතුරු. අපි හිතුවේ මුරකාරයා ටෝච් එලිය දැකලා සෝදිසි කරන්ට ඇවිත් කියලා. මිනිහා ආයෙත් යනතෙක් අපිට පහලට බහින්ට හම්බවෙන්නෙ නෑ කියලා අපි එහෙමම සද්ද නැතුව හිටියා, ඊලඟ සද්දේ බලාපොරොත්තුවෙන්.
යට තට්ටුවෙන් ආවේ අපි හිතපු සද්දයක් නෙවෙයි.
[තේ උගුරයි බීඩි උගුරයි බොහෝම හෙමින් - බංඩා මිදුල දිහා බලාගෙන හිටියා විනාඩියක්. කඩේ කවුරුත් කිසි සද්දයක් කරේ නෑ]
“ඔන්න බබෝ ඇතින්නියා…” සිංදුව ගෑනු කටහඬකින්!
මම හිරිවැටිලා ගියා. මේ පාන්දර, පාළු ගෙදරක, මැද පෙරදිග රටක, සිංහල දරු නැලවිල්ලක්… මම චෑං මහත්තයා දිහා බැළුවා - එයත් ගල් වෙලා.
සිංදු සද්දෙත් එක්ක පුටුවක් ඇදන සද්දයකුත් ඇහුනා. මේ ගෑනී වාඩිවුනොත් ආයෙ අපිට පහලට බහින්ට වෙන්නෙ නෑ…. උඹලා දන්නවානේ මං ඉස්සර කාලේ ඉඳන් හොඳට හිතලා බලලා තමා යමක් කළේ කියලා….
…මේ සිංහල ගෑනියෙක් වෙන්ට ඕන - ඒ පැත්තේ සිංහලයෝ හුඟක් වැඩ කරන්ට ඇවිත් ඉන්නවා. කලාතුරකින් රස්සා නැතුව අතරමං වෙන අයත් ඉන්නවා. එහෙම කෙනෙක් හොරෙන් මේ ගෙදර ඉන්නවද දන්නෙ නෑ. අනික, මෙතන බබෙක් ඉන්නවද නැද්ද කියලා හරියටම කියන්ට බෑ - නැලවිලි සිංදු කිව්වට බබෙක් අඬන සද්දයක් නෑ. ගෑනිට පිස්සු වෙන්ට පුළුවන් - දැනට තියෙන හොඳම උත්තරේ ඒක කියලා මට හිතුනා. ‘අනාථ වුන සිංහල ගෑනියෙක් හොරෙන් මේ මන්දිරේ දැන් ඉන්නවා’ කියලා හිතාගෙන තමා ඊලඟට කරන දේ ගැන තීරණයක් ගන්ට වෙන්නේ.
හැබැයි යට තට්ටුවේ ඉන්න පිස්සු ගෑනියෙක් අපි දෙන්නා පඩි පෙලෙන් බැහැගෙන එනවා දැක්කොත් මොනවා වෙයිද? යටි උගුරෙන් බෙරිහන් දෙයි - මුරකාරයටත් ඇහෙනට…. ඒ නිසා වෙන පඩිපෙලක් හොයාගන්ට වෙනවා ගෑනිට හොරෙන් බැහැලා එලියට යන්ට. මම චෑං මහත්තයගෙ අතින් අල්ලාගෙන හඳ එලියෙන් උඩ තට්ටුවේ අනික් කොනට ඇවිද්දේ පුළුවන් තරම් සද්ද නැතුව. අනේ අපෙ වාසනාවට මෙන්න තවත් පඩිපෙලක් ගෙදර අනික් කොනේ! පහලට බහින්ට ඉස්සර මම එක සැරයක් ටෝච් එක පත්තු කරා පහල බැළුවා…
…. කිව්වට මොකද මට එහෙම්ම චූ වුනා… දැක්ක දේ … සාලේ මැද්දේ… මම තවමත් හීනෙන් බයවෙනවා ඒක සිහිවෙලා… ...විස්වාස කරන්ට… මං එදා කරපු ගොංකම් වලින් ලොකුම එක පඩිපෙලේ පහලට ටෝච් අල්ලලා බලපු එක කියලා මට තවමත් හිතෙන්නේ.
[බීඩි උගුරක් - හිස් තේ කෝප්පේ ලඟ ඉන්න කෙනෙකුට ගන්න දික් කරේ බිම බලාගෙන සද්ද නෑ විනාඩියක්]
…අනේ අප්පා මං කොහොම කරාද මංදා… ඇදලා ගත්තා චෑං මහත්තයා මගෙ කර උඩට; එක පිම්මෙන් පඩිපෙල බැහැලා, ඉස්සරහ දොරෙන් එලියට පැනලා තාප්පේ උඩින් චෑං මහත්තයා පාරට දමන්ට තප්පර තිහක් යන්ට ඇති වැඩිම වුනොත්. මොන හිතේ හයියෙන්ද මංදා … මමත් තාප්පේ උඩට බඩගාගත්තා. දෙන්නා සද්ද නැතුව වාහනේට දිව්වා. ආයෙ වචනයක් කියවුනේ නෑ මහත්තයා එයාගෙ ගෙදරටයි මම මගෙ නවාතැනටයි එනතෙක්…
… පහුවදාම මම රස්සාවෙන් අස්වුනා; දවස් හතරකට පස්සේ ලංකාවට ආවා, මෙහෙ හිඟාකෑවත් මට හොඳයි කියලා… ගාමිනී මහත්තයා කිව්වේ චෑං මහත්තයත් ආපහු ගමේ ගියා කියලා, ආයෙ නොඑන්නම… මම ගාමිනී මහත්තයටවත් කිව්වෙ නෑ මොකද්ද එදා රෑ දැක්කේ කියලා….
……………………………………….
කතාව අහගෙන හිටපු අය ආයෙත් හුස්ම ගන්න පටන්ගත්තේ බංඩා බංකුවෙන් නැගිටින්න ලෑස්ති වෙනකොට. කතාවේ අඩු පාඩුවක් කාටත් දැනුනට ඒ ගැන ප්රශ්න කරන්න තරම් එඩිතරවුනේ දනපාල විතරයි.
“ඉතින් බංඩයියා මොකද්ද දැක්කේ ටෝච් එක ගහපුවම?”
ගෙදර යන්න මිදුලට බැහපු බංඩා දනපාල දිහා බැළුවේ දක්ෂ ගුරුවරයෙක් මෝඩ ප්රශ්න අහන සිසුවෙක් දිහා බලන විදිහටයි.
“දනේ… පුතා… උඹ හිතුවද මම ගාමිනී මහත්තයටත් නොකියපුදේ උඹට කියයි කියලා?”